තානාපති කාර්යාලයේ සිද්ධිය:පූර්ණ විමර්ශනයකට නියෝග

තානාපති කාර්යාලයේ සිද්ධිය:පූර්ණ විමර්ශනයකට නියෝග

by Staff writer 02-12-2019 | 11:52 AM

COLOMBO ( News 1st ) - කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක පසුගිය මස 25 වැනි සඳුදා මුහුණ දුන් බව කියන සාපරාධි සිද්ධිය බරපතල ලෙස සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කිරීමට වහාම නියෝග කර තිබේ.

විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනය කළේ, ඊයේ සවස අරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ අදාළ නිලධාරීන් සමග ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් මහතා හා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හමුවූ විදේශ සබඳතා අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරිසිංහ මහතා පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවල ප්‍රතිඵල ගැන ඔවුන් දැනුවත් කළ බවයි. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ 2019 නොවැම්බර් 29 සිකුරාදා ලබාදුන් තොරතුරු මත ප්‍රශ්ණ කරණු පිණිස සිද්ධියට මුහුණපෑ බව කියන නිලධාරිනිය තමන් වෙත යොමුකරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් කළ ඉල්ලීම ඉටු කිරීමට තානාපති කාර්යාලය ක්‍රියා නොකළද විමර්ශන ඉදිරියට ගෙන යනු ලැබූ බව එම නිවේදනයේ සඳහන් වේ. විදේශ සබඳතා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණපෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිළ වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණපෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමග නොපෑහෙන බව උබර් වාර්තා, සිසිටීවී දර්ශන, දුරකතන වාර්තා, සහ ජීපීඑස් දත්ත අසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වා දෙනු ලැබූ බවයි. නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් ස්විස් දූත කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාර අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවැරදිව හඳුනා ගැනීමට තවදුරටත් විමර්ශන කළ යුතු බව විදේශ සබඳතා අමාත්‍යංශය අවධාරණය කර තිබේ. ඒ සඳහා සිද්ධියට මුහුණපෑ බව කියන කාර්ය මණ්ඩල සාමාජිකාව නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලැබිය යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. සිද්ධියට මුහුණපෑ බව කියන තැනැත්තිය සිදුවුණාය කියන පැහැර ගැනීමේදී තමාට තුවාල සිදුවු බව කියා ඇති බැවින් ඇය ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලදාරියෙකු විසින් කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකට භාජන කල යුතු බව ද එහිදී පෙන්වා දී තිබේ. විදේශ සබඳතා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ සිදුවූවා යැයි කියන සිද්ධිය සම්බන්ධ යථා තත්ත්වය නිශ්චය කරනු සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන්නැයි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටි බවයි.