මුදල් අමාත්‍යාංශ ලේකම් සහ ආරක්ෂක ලේකම්

නව ආරක්ෂක ලේකම් සහ නව මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කෙරේ

by Staff writer 19-11-2019 | 5:46 PM

COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමත් සමග ජනාධිපති ලේකම්වරයාට අමතරව ආරක්ෂක ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් යන තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කළේය.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පත් කර තිබේ. 1981 යුද හමුදා සේවයට එක්වූ කමල් ගුණරත්න මහතා 2016 දී විශ්‍රාම ගත්තේය. 30 වසරක යුද්ධය නිමාකළ අවසන් මානුෂීය මෙහෙයුමේදී 53 සේනාංකයට නායක්වය ලබා දුන්නේ කමල් ගුණරත්න මහතා විසිනි. මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙස මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති එස්.ආර්. ආටිගල මහතා ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබ තිබේ. ආටිගල මහතා, මීට පෙර ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර ඔහු ආර්ථික විශේෂඥයකු ලෙස ද ප්‍රකට ය. මේ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඕෂධ සේනානායක මහතා අද ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරමින් අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කර ඇති බවට පළවන ප්‍රවෘත්තිය නිවැරදි නොවන බව ය. එම ධුරය සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම පමණක් මේ අවස්ථාවේ සිදු කෙරෙන බව ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇතැයි එම නිවේදනයේ දැක්වේ.