හගිබිස් :ජපානය හැරයයි

හගිබිස් සුළි කුණාටුව ජපානයෙන් ඉවතට ගමන් කරයි

by Staff writer 14-10-2019 | 6:59 AM

COLOMBO ( News 1st ) - පුද්ගලයන් රැසකට මරු කැඳ වූ හගිබිස් සුළි කුණාටුව ජපානයෙන් පිටතට හමාගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සුළි කුණාටුවේ ප්‍රභලත්වය මේ වන විට දුර්වලව ඇති අතර එය පැසිෆික් මුහුදු කලාපයට හමාගොස් ඇති බව ය. සුළි කුණාටුව හේතුවෙන් ඇණහිට තිබූ ටෝකියෝවේ දුම්රිය සේවා යළි යථා තත්ත්වයට පත්ව ඇති අතර අද සිට දුම්රිය සේවා සියල්ලම පාහේ සාමාන්‍ය පරිදි සිදු කෙරේ. කෙසේ වෙතත් අද දිනයේ ද නගානෝ සහ තෝයෝමා දුම්රිය ස්ථාන අතර දුම්රිය සේවා අවලංගු කර තිබේ. මේ අතර හගිබිස් සුළි කුණාටුවේ බලපෑම හමුවේ විපතට පත්වූවන් මුදා ගැනීමට හමුදා භටයින් සහ සහන සේවකයන් දහස් ගණනක් යෙදවීමට ජපාන රජය පියවර ගෙන තිබේ. බලධාරීන් පවසන්නේ හමුදා සෙබලුන් 27000 ක් මෙම කටයුතු සඳහා යෙද වූ බව ය. මේ අතර සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 31ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සුළි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයන් 186 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයන් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. ජපාන බලධාරින් මේ වනවිට සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ගණනය කිරීමේ නිරතවන බව ද එරට මාධ්‍ය වාර්තාවල සඳහන් ය.