මවගේ ඉරණම බිරිඳටත් අත්වේදැයි හැරී කුමරු බියෙන්

මවට අත්වූ ඉරණම බිරිඳටත් අත්වේ දැයි බ්‍රිතාන්‍ය හැරී කුමරු බියෙන්

by Staff writer 02-10-2019 | 6:36 PM
COLOMBO (News 1st) : සසෙක්ස්හි ආදිපාද හැරී කුමරු සහ මේගන් කුමරිය බ්‍රිතාන්‍ය පුවත්පතකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ, මේගන් කුමරිය සිය පියාට යවන ලද, පෞද්ගලික ලිපියක් අදාළ පුවත් පත විසින් පළ කිරීම හේතුවෙන් මතුව ඇති ආන්දෝලනාත්මක වාතාවරණය තුළයි. තමාට හා බිරිඳට ලබාදෙන අනවශ්‍ය මාධ්‍ය ආවරණ හේතුවෙන් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමා යොමුවූ බව මෙම සිද්ධිය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් හැරී කුමරු කියා සිටියේ ය. තම මව වන ඩයනා කුමරියගේ මතකය ආවර්ජනය කරමින් හැරී කුමරු කියා සිටියේ ඉතිහාසයේ සිදුවූ දෑ යළි සිදුවේදැයි තමුන්ට බියක් ඇති බවයි. 1997 වසරේදී පැරිසියේ උමං මාර්ගයකදී පැපරාසී මාධ්‍යවේදීන් පිරිසක් ලුහු බඳිමින් සිටියදී සිදූවූ මෝටර් රථ අනතුරකින් ඩයනා කුමරිය ජීවිතක්ෂයට පත්වූවා ය. එදා තමාට මව අහිමි වූ බවත්, එම ප්‍රබල බලවේගයන්වල වින්දිතයෙකු බවට තම බිරිඳ ද පත්වනු ඇද්දැයි තමාට බියක් පවතින බවත් හැරී කුමරු පවසයි.