by Staff writer 02-10-2019 | 6:29 PM
COLOMBO (News 1st) : ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ මුල් පිටපත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බව ආගමන විගමන පාලකවරයා දන්වා ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.
එම මුල් පිටපත් නොමැතිවීමට හේතුව කුමක් දැයි සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එහිදී විමසා සිටි අතර 2005 වසරේදී එම කාර්යාලය බම්බලපිටියේ සිට පුංචි බොරැල්ලට රැගෙන ඒම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලිපි ගොනු පමණක් නොව 2007 වසර දක්වා කාලය තුළ කිසිදු ලේඛනයක් නොමැති බව දන්වා ඇතැයි, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ 2007 වසරේදී එකී කටයුතු පරිගණක ගත කිරීමට පියවර ගෙන ඇති බවයි.
එම කාලය තුළ එම ලේඛන විනාශ කර ඇතැයි පෙන්වා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරණු දැක්වු අතර නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන බව ද පෙන්වා දුන්නේ ය.
පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙන කරුණු සම්බන්ධයෙන් මේ වනවිටත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවතින බැවින්, පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ලබාදීමට හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් ලබාදීමේ අධිකරණ බලයක්, අධිකරණයට නොමැති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එහිදී පෙන්වා දුන්නේ ය.
එම කාලය තුළදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් කිසිදු ලේඛනයක් විනාශ කළ බවට කරුණු වාර්තා වී නැතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවයට ලබාදීමට අදාළ ලේඛන කිසිවක් නීතිය හමුවේදී පිළිගත හැකි නීත්‍යනුකූල ලේඛන නොවන බැවින් එම ද්විත්ව පුරවැසිභාවය ද නීත්‍යානුකූල නොවන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
පුරවැසි පනතේ 19 ( 2) වගන්තිය අනුව යම් අයෙකුට ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ලබාදෙන පුරවැසි සහතියට අත්සන් කළ හැක්කේ එම විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයාට පමණක් වුවත්, ගේඨාභය රාජපක්ෂ මහතාට නිකුත් කළ පුරවැසි සහතිකයට අත්සන් කර ඇත්තේ එවකට අගමැතිධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා වන්නේ යැයි ද නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.
එකී පුරවැසි සහතිකයට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබන විට ඔහු ජනාධිපතිවරයා ලෙස පත් වී සිටි බව සැබෑ නමුත්, ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම් දී නොසිටීම නිසා 2015 නොවැම්බර් මස 21 වන දා කළ එම අත්සන් තැබීම නීත්‍යානුකූල නොවන බව පෙන්වා දුන් සුරේන් ප්‍රනාන්දු මහතා ආගමන විගමන විෂය අමාත්‍යවරයකු වෙත පවරමින් ගැසට් නිවේදන නිකුත් කර ඇත්තේ 2005 දෙසැම්බර් 08 වන දා බව ද අධිකරණය හමුවේ කියා සිටියේ ය.
රටේ පුරවැසිභාවය හිමි නොවන අයෙකු රටේ ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් එය රටේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන බව පෙන්වා දුන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා , පෙත්සම්කරුවන් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙස, අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එලෙස නොකිරීමෙන් රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය නිකරුණේ භාවිත වීමක් සිදුවිය හැකි බව ද පෙන්වා දුන්නේ ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් කරන ලෙසත්, ඔහු ඉදිරිපත් කර ඇති පුරවැසිභාවය පිළිබචඳ සහතිකය නිවැරදි සහතියක් නොවන බවට නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනු කර රීට් ආඥා පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ , අර්ජුන ඔබේසේකර , මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී අද පෙරවරු 9 30 ට ආරම්භ කළේ ය.
අමාත්‍ය මණ්ඩලය පත් කර නොමැති විටක හා විෂය භාර ඇමතිවරුන් පත්කර නොමැති විටක රටේ විධායක ජනාධිපතිවරයකු ලෙස අමාත්‍ය මණ්ඩලය සතු බලතල භාවිත කිරීමේ නීතිමය අයිතියක් රටේ ජනාධිපතිවරයාට ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අද පස්වරුවේ අභියාචනාධිකරණය හමුවේ පැවසී ය.
එම බලතල අනුව එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි සහතිකයට අත්සන් කර ඇති බව විනිසුරු මඩුල්ලට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී ක්‍රියා කලාපය නිවැරදි හා නිත්‍යානුකූල බව ද අධිකරණයට පෙන්වා දුන්නේ ය.
පෙත්සම වැඩිදුර සලකා බැලීම හෙට පස්වරු 1.30 දක්වා කල් තැබිණ.