නිශ්කාෂණය කර ගත නොහැකි වාහන සඳහා රජයෙන් සහන

2015 - 2017 කාලයේ පුද්ගලික පරිහරණය වෙනුවෙන් ආනයනය කළ වාහන නිදහස් කර ගැනීමට රජයෙන් සහන

by Staff writer 24-09-2019 | 4:06 PM
COLOMBO (News 1st) - 2015 සිට 2017 නොවැම්බර් මස දක්වා පුද්ගලික පරිහරණය සඳහා ආනයනය කර, නිශ්කාෂණය කර ගත නොහැකිව ඇති වාහන නිශ්කාෂණය කර ගැනීමට සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, තනි පුද්ගලයින් විසින් ආනයනය කිරීම සහ අදාළ ණයවර ලිපි ඔවුන්ගේ නමින් විවෘත කර ඇත්නම් සංශෝධිත බදු නොසලකා හරිමින් ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේ පැවැති නිෂ්පාදන බද්ද ගෙවා එම වාහන නිශ්කාෂණය කිරීමට අවස්ථාව ලබා දෙන බව ය. මෙම විශේෂ බදු සහනය වාහන ආනයනය කරනු ලබන සමාගමක් හෝ නියෝජිත ආයතනයක් හරහා තමන් වෙනුවෙන් වාහනය ආනයනය කර ඇති බවට තහවුරු කළ හැකි පුද්ගලයින්ට ද හිමි වන බව මුදල් අමාත්‍යංශය පැවසුවේ ය. වාහන නිශ්කාෂණය කර ගැනීම සඳහා වන අයැදුම්පත්‍රය මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලබන මස 31 වන දිනට පෙර යොමු කළ යුතු බව ද මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මෙම බදු සහන යටතේ නිදහස් කරනු ලබන වාහන රේගුවෙන් නිදහස් කළ දින සිට දින 30ක් ඇතුළත අදාළ වාහනය ආනයනය කරන ලද පුද්ගලයින්ගේ නමට ලියාපදිංචි කිරීම අනිවාර්ය වනු ඇති.