කංජිපානිට දුරකතන සැපයූ සැකකරුවන් රිමාන්ඩ්

කංජිපානිට ජංගම දුරකතන දීමට තැත් කළ සැකකරුවන් 6 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

by Staff writer 13-09-2019 | 2:16 PM

COLOMBO ( News 1st ) - බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් නමැත්තාට ජංගම දුරකතන 2ක් සහ චාජර් 2ක් දීමට තැත් කළ සැකකරුවන් 6 දෙනා ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. කෑම බඳුනක සඟවා සැකකරුවන් මෙම ජංගම දුරකතන ලබා දීමට උත්සහ දරා ඇත්තේ, ඊයේට යෙදී තිබුණු සිරකරු දිනය වෙනුවෙන් කංජිපානි ඉම්රාන් නමැත්තා හමුවීමට පැමිණි අවස්ථාවේදී ය. එලෙස අත්අඩංගුවට පත් වූවන් අතර 65 හැවිරිදි කංජිපානි ඉම්රාන්ගේ පියා සහ 28 හැවිරිදි සහෝදරයා සහ ඔහුගේ බිරිඳගේ ඥාති සහෝදරයින් ද වේ. සැකකරුවන් කංජිපානි ඉම්රාන් නමැත්තාට ලබා දීමට කෑම රැගෙන ආ එම බඳුනේ පතුළේ සූක්ෂම ලෙස මෙම ජංගම දුරකතන සඟවා තිබියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. කංජිපානි ඉම්රාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී මේ වන විට වසර 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් විදින අතර, ඔහුට එරෙහිව අලුත්කඩේ අධිකරණයේ නඩු 19ක් විභාග වෙමින් පවතී.