මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට අනුමැතිය

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

by Staff writer 21-08-2019 | 11:50 AM
COLOMBO (News 1st) - මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අනුව ය. මුස්ලිම් විවාහ දික්කසාද ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගෙන් මෙන්ම මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරීන්ගෙන් ද අදහස් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන ආදී කරුණු සංශෝධනය කිරීමට නියමිත ය. පනතට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා නිති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබා දීමට ද මේ යටතේ කැබිනට් අනුමැතිය හිමි විය.