තෙල් නෞකාව ග්‍රහණයට ගැනීම එදිරිවාදී ක්‍රියාවක්

ඉරානය සිය බොරතෙල් නෞකාවක් ග්‍රහණයට ගැනීම එදිරිවාදී ක්‍රියාවක් - බ්‍රිතානයෙන් චෝදනා

by Staff writer 21-07-2019 | 8:00 AM

News 1st - ඉරානය සිය බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ග්‍රහණයට ගැනීම බ්‍රිතාන්‍යය දැඩි විවේචනයට ලක් කර තිබේ.

අනතුරක් හේතුවෙන් මෙම බොරතෙල් ප්‍රවාහන නෞකාව සිය භාරයට ගත් බවට ඉරානය කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් බ්‍රිතාන්‍යය සඳහන් කළේ, මෙය ඉතා බරපතළ එදිරිවාදී ක්‍රියාවක් බවයි. මෙමගින් හොමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බ්‍රිතාන්‍ය ඇතුළු ජාත්‍යන්තර නෞකා ගමනාගමනයේ ආරක්ෂාව පිළිබඳ දැඩි ගැටලු උද්ගත වන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් ප්‍රකාශ කළේ ය. මේ අතර ඉරාන මුහුදු සීමාවේ නෞකා ගමනාගමනය සුරක්ෂිත කිරීමේ අරමුණින් ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව සූදානම් වේ. හොමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදු කෙරෙන නෞකා සඳහා නිදහස් සහ විවෘත ගමන් මාර්ගයක් ලබාදීම මෙහි අරමුණ ලෙස සඳහන් වේ. සෙන්ටිනෙල් යනුවෙන් නම් කළ මෙම නව සංකල්පය ඔස්සේ පර්සියන් ගල්ෆ් කලාපයේ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදුවන වෙළඳ නෞකා ගමනාගමන කටයුතුවල සුරක්ෂිත භාවය තහවුරු කිරීම සඳහා රටවල් ගණනාවක සහයෝගය ලබා ගැනීමට මින් නියමිතයි. මේ සම්බන්ධයෙන් නේටෝ සංවිධානයේ සාමාජික රටවල් සමග සාකච්ජා කර ඇති අතර ඉදිරි සතිවලදී මෙය ක්‍රියාවට නැංවෙනු ඇතැයි අමෙරිකානු බලධාරීන් සඳහන් කරති. ඉරානය බ්‍රිතාන්‍ය බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ග්‍රහණයට ගැනීම අමෙරිකාවේ මෙම නව ක්‍රියාමාර්ගයට ආසන්නතම කරුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර ඉරානය තමන් එම නෞකාව ග්‍රහණයට ගන්නා අන්දම දැක්වෙන වීඩියෝ පටයක් ද අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඉරානය පවසන්නේ, මෙම නෞකාව ජාත්‍යන්තර නාවික නීති උල්ලංඝණය කරන බවයි. බ්‍රිතාන්‍යය පසුගිය දා ජිබ්රාල්ටර්හිදී ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ග්‍රහණයට ගැනීමට පලිගැනීමක් ලෙස ඉරානය මෙය සිදු කළ බවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා චෝදනා කළේ ය. මේ අතර ග්‍රහණයට ගත් බොරතෙල් නෞකාවේ සේවය කරන ඉන්දීය ජාතිකයන් 18 දෙනා මුදාහරින ලෙස ඉන්දියාව ඉරානයෙන් ඉල්ලා සිටි. ඉන්දියාව සඳහන් කළේ, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ඉරානය සමග සාකච්ජා කරමින් සිටින බවයි. මෙම නැවේ කාර්ය මණ්ඩලය අතරට පිලිපීන ජාතිකයකු, රුසියානු ජාතිකයකු සහ ලැට්වියානු ජාතිකයකු ද අයත් වේ.