කොළඹ රථ වාහන ගමනා ගමනය හෙට සීමා කෙරේ

කොළඹ රථ වාහන ගමනා ගමනය හෙට සීමා කෙරේ

by Staff writer 13-07-2019 | 6:57 PM
COLOMBO (News 1st) - කොළඹ කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනා ගමනය හෙට පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා සීමා කරන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ, නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව සංවිධාන කරන මෝටර් රථවලින් තොර කලාපය හෙවත් “CAR FREE ZONE” වැඩසටහන හේතුවෙනි. ඒ අනුව ග්‍රීන් පාත් මාර්ගය, ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවත, නිදහස් මාවත, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, ශ්‍රී ලංකා පදනම් මාවත සහ මාකස් ප්‍රනාන්දු මාවත යන මාර්ගවල රථ වාහන ගමනා ගමනය සිදු නොකෙරෙනු ඇති. මාර්ග වසා තැබෙන කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට හා නුගේගොඩ අතර හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 8.00 සිට හෙට අලුයම 5.00 දක්වා එම මාර්ගය වසා තැබෙන බව පොලීසිය පවසයි. අදාළ කාලය තුළ එම මාර්ගය භාවිත කරන පුද්ගලයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි. මේ අතර අලුත්වැඩියාවක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ රේල්වේ ඇවනිවු හරස් මාර්ගය ද හෙට උදෑසන 9.30 සිට පස්වරු 3.30 දක්වා වසා තැබෙන අතර අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.