රටට කුණු ගෙනාවේ කවුද?

රටට කුණු ගෙනාවේ කවුද?

by Staff writer 10-07-2019 | 9:55 PM
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවූ කසළ අඩංගු බව කියන කන්ටේනර් තොගයෙන් 5ක් රේගුවේ නිලධාරීහු අද විවෘත කළහ. මූලික විමර්ශනයෙදී අනාවරණය වී ඇත්තේ ඒවායේ කසළ අඩංගු බව ය. භාවිත කළ මෙට්ට තොගයක් බව ප්‍රකාශ කරමින් ගෙන්වූ මෙම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොළිතීන් වැනි දෑ සොයා ගත් බව රේගුව සඳහන් කළේ ය. මෙවැනි කන්ටේනර් 102ක් දිවයිනට ගෙන්වා ඇති අතර එයින් 94ක් මේ වන විට හඳුනාගෙන තිබේ. රේගුව පවසන්නේ, මෙවැනි නීති විරෝධීව ආනයනය කරන භාණ්ඩ කන්ටේනර් රාජසන්තක කෙරෙන බව ය. එහෙත් මේවායේ කසළ අඩංගු වන බැවින් නැවතත් රටට හරවා යැවීමට පියවර ගන්නා බව රේගුව සඳහන් කළේ ය. මේ වන විට සැක සහිත කන්ටේනර් ගබඩා කර ඇත්තේ, කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයේ ය. ‍කන්ටේනර් පසුගිය සඳුදා මාධ්‍යට විවෘත කිරීමට නියමිතව තිබුණ ද ආරක්ෂක හේතු මත බව පවසමින් කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්ත නිලධාරීහු ඊට ඉඩ නොදුන්හ. රේගුව අදාළ කන්ටේනර් තොගය පිළිබඳව මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය ද දැනුවත් කර තිබේ. එම අධිකාරියේ රසායනික හා අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විමර්ශන සිදු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මෙම අපද්‍රව්‍ය රට තුළට ගැනීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බව ය.