නීති විරෝධී ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි

කැලණියේ පවත්වාගෙන ගිය නීති විරෝධී ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි: පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 09-07-2019 | 5:54 PM
COLOMBO (News 1st) - නීති විරෝධීව ඖෂධ නිෂ්පාදනය කළ ස්ථානයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකු කැලණිය දුම්රියපොළ පාර ප්‍රදේශයේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් ඒකාබද්ධව කළ වැටලීමකදී ය. එම ස්ථානයේ තිබී ක්‍රැමඩෝල් වර්ගයේ පෙති විශාල ප්‍රමාණයක් සොයා ගත් බව ගම්පහ දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්ෂක ඩී.ආර්.ඩබ්ලිව්. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, කල් ඉකුත් වූ ඖෂධ හා පෝෂ්‍යදායී කිරිපිටි වර්ග එම ස්ථානයේදී ඇසුරුම වෙනස් කර නැවත අලෙවි කර ඇති බවට හෙළි වූ බව ය. ඖෂධ නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට හෙට දිනයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කළ බව ද ඩී.ආර්.ඩබ්ලිව්. බණ්ඩාර මහතා පැවසුවේ ය.