විදුලිය⁣ට තෙල් නොදීමේ ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 01-07-2019 | 8:42 PM

COLOMBO (News 1st) - විදුලි බල මණ්ඩලයට ඉන්ධන නිකුත් නොකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තිය සමිති අද තීරණය කර තිබේ.

ඒ, විෂයය භාර අමාත්‍ය කබීර් හෂිම් මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. කොළඹ වරායට පැමිණෙන නැව්වලින් කොළොන්නාවට තෙල් පොම්ප කරන පැරණි නළ පද්ධතිය වෙනුවට නව නළ පද්ධතියක් ස්ථාපිත කිරීමට යාමේදී මතු වූ ගැටලුවක් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට හේතු වී තිබුණි. වෘත්තිය සමිති චෝදනා කළේ, කිලෝමීටර් පහමාරක දිගින් යුත් මෙම නව නළ පද්ධතියේ අවසන් මීටර් 140 සම්පුර්ණ කෙරමින් තිබියදී එම ස්ථානයට පැමිණි විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් ඉදිකිරීම් වැලක්වීමට පියවර ගත් බවයි. නළ පද්ධතිය දෙපස ජනතාවට වන්දි හෝ නිවාස ලබාදී නොමැති බව පවසමින් අමාත්‍යවරයා ඊට මැදිහත් විය. මෙම මැදිහත්වීමට විරෝධය පළ කරමින් ඛනිජතෙල් වෘත්තීය සමිති විදුලි බල මණ්ඩලයට තෙල් ලබාදීම අත්හිටුවන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගකට අවතීරණ විය. වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ නළ පද්ධතිය දිරාපත්වීම හේතුවෙන් වසරකට නෞකාවලට ඩොලර් මිලියන 4 ක පමණ ප්‍රමාද ගාස්තුවක් ද ගෙවීමට සිදු ව ඇති බවයි.