by Staff writer 25-06-2019 | 12:33 PM
COLOMBO (News 1st) : රජය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 02ක ණය ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කර තිබේ.
මේ වසරේ මාර්තු මාසයේදී ද අමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් ජාත්‍යන්තර බැඳුම්කර හරහා ලබා ගැනීමට රජය පියවර ගත්තේ ය.
ශ්‍රී ලංකාව 2007 වසරේ සිට ජාත්‍යන්තර වෙළෙඳපොළට බැඳුම්කර නිකුත් කළ 14 වන අවස්ථාව මෙයයි.
මහ බැංකුව පවසන්නේ, අමෙරිකානු ඩොලර් මිලියන 500ක් වසර 5කින් හා තවත් ඩොලර් බිලියන 1.5ක් වසර 10කින් කල් පිරෙන ලෙස මෙම බැඳුම්කර නිකුත් කළ බව ය.
වසර 5කින් කල් පිරෙන බැඳුම්කර 6.35%කටත් වසර 10කින් කල් පිරෙන බැඳුම්කර 7.55%ක ස්ථාවර පොළී අනුපාතයක් යටතේ මෙම බැඳුම්කර නිකුත් කර තිබේ.
මෙය මාර්තු මාසයේ නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර පොළියට වඩා අඩු අගයකි.
ජාත්‍යන්තර බැඳුම්කර වෙනුවෙන් මෙවර ලංකාවට හිමිව ඇති පොළී අනුපාතය සාපේක්ෂව වාසි සහගත තත්ත්වයක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
මෙම බැඳුම්කර නිකුතුවේදී ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 2ක බැඳුම්කර ලබා ගැනීමට සැලසුම් කළ ද ඒ සඳහා ඩොලර් බිලියන 6.2ක ඉල්ලුමක් පැවති බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
බැඳුම්කර සඳහා ඉදිරිපත් වූ ඉල්ලීම්වලින් 80%ක් අමෙරිකානු හා යුරෝපා ආයෝජන බව සඳහන් ය. (අමෙරිකා 30%, යුරෝපා 50%)
ජාත්‍යන්තර ආයෝජකයින් මෙරට ආර්ථිකයේ මූලධර්ම පිළිබඳව තබා ඇති විශ්වාසය හා දිගුකාලීන වර්ධන අපේක්ෂාව යළි තහවුරු කිරීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ ණය වාරිකය වන අමෙරිකානු ඩොලර් බිලියන 5.9ක් ගෙවීමට සිදුව ඇත්තේ මේ වසරේදී ය.
ඉන් 60%ත් 65%ත් අතර ප්‍රමාණයක් දැනටමත් ගෙවා අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අප කළ විමසීමකදී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේ, අයවැය යෝජනා අනුව ජාත්‍යන්තර බැඳුම්කර හරහා මෙම මුදල් ලබා ගැනීම සිදු කළ බව ය.
විදේශ ණය ගෙවීමට රටේ දැනට පවතින සංචිත ප්‍රමාණවත් නොවීම තුළ තාවකාලික පිළියමක් ලෙස මෙලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් වානිජ ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට නොමැති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත් මෙලෙස වානිජ ණය හරහා විදේශ විනිමය අවශ්‍යතා සපුරා ගැනීම දිගුකාලීනව සලකා බැලීමේදී යහපත් තත්ත්වයක් නොවන බව ද ඔවුහු පෙන්වා දෙති.