"බැටික්ලෝ කැම්පස් ගිණුමට විදෙස් ණය ලැබී නැහැ"

ලංකා බැංකුවේ බැටික්ලෝ කැම්පස් ගිණුමට විදේශීය ණයක් ලැබී නොමැති බව හෙළි වෙයි

by Staff writer 21-06-2019 | 7:38 AM
COLOMBO (News 1st) - බැටික්ලෝ කැම්පස් ආයතනය නමින් ලංකා බැංකුවේ පවත්වාගෙන යන ගිණුමට විදේශයකින් කිසිදු ණය මුදලක් ලැබී නොමැති බව පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ හෙළිව තිබේ. මෙම තොරතුරු හෙළිව ඇත්තේ, ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සම්ප්‍රේෂණ අංශයේ කළමනාකරු ඩබ්ලිව්.ජී. ජනක් ප්‍රසන්න මහතා ඊයේ කොමිසමේ පොලිස් ඒකකයට දුන් ප්‍රකාශයකිනි. ඔහු එහිදී පවසා ඇත්තේ, මහ බැංකුවේ අවසරයකින් තොරව කිසිදු විදේශීය ණයක් එම ගිණුමට බැර කළ නොහැකි බව ය. බැටික්ලෝ කැම්පස් ගිණුමට විදේශවල සිටින විවිධ පුද්ගලයින් හා ආයතන මගින් අවස්ථා ගණනාවකදී මුදල් බැර කර ඇති බව ද ඔහු කොමිසමට ප්‍රකාශ කර තිබේ. මේ අතර පසුගියදා ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් දෙමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ, අදාළ ගිණුමට විදේශයකින් ණය මුදලක් ලැබුණු බව ය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද ජනාධිපති කොමිසම සඳහන් කළේ ය. මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සකස් කළ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේ, අදාළ සිද්ධියට සම්බන්ධ සෑම පාර්ශවයකම සාක්ෂි විමසා මෙම වාර්තාව සකස් කළ බව ය. මෙම වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව ද ඔහු පැවසුවේ ය. මේ අතර අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.