නව වාර්තාවක් පිහිට වූ ඉන්දු - පකිස්ථාන තරගය

2011 අවසන් තරගයේ වාර්තාව ඉන්දු - පකිස්ථාන තරගයේදී බිඳ වැටෙයි

by Staff writer 19-06-2019 | 3:10 PM
COLOMBO (News 1st): මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පසුගියදා පැවැති තරගය මේ වනවිට ඉතිහාසගත වී තිබේ. ඒ, ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹූ ක්‍රිකට් තරගය ලෙස ය. එම තරගය ලොව පුරා බිලියනයක පමණ ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති බවට විදෙස් මාධ්‍ය පවසයි. එය ක්‍රීඩාංගණයේ සිට නැරඹීම සදහා ප්‍රේක්ෂකයින් 800,000කින් පමණ ඉල්ලුම්ප ත් යොමු වී තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත් තරගය පැවැත්වු ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, ක්‍රීඩාංගණයේ සිට තරගය නැරඹීමට පහසුකම් ඇත්තේ ප්‍රේක්ෂකයින් 23,500කට පමණි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවඩ් රිචර්ඩ්සන් සඳහන් කර ඇත්තේ මිලියන 500ක පමණ පිරිසක් මෙම තරගය රූපවාහිනිය ඔස්සේ පමණක් නරඹා ඇති බව ය. වෙනත් ක්‍රමවේද ඔස්සේ ද මෙම තරගය නැරඹූ පිරිස ගණනය කළ විට සම්පූර්ණ සංඛ්‍යාව බිලියනයක් පමණ වන බව ඔහු පවසා තිබේ. මීට පෙර වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා තිබූ ක්‍රිකට් තරගය ලෙස ඉතිහාසගත වී තිබුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2011 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගයයි. එය මිලියන 558 දෙනෙකු පමණ නරඹා තිබූ බව සඳහන් ය. මෙම සංඛ්‍යාවන් 1969 වසරේ දී සද මත පා තැබීම සජීවීව නැරඹූ පිරිසට ද වඩා අධික බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේය.