චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු යළිත් චිත්‍රපට සංස්ථාවට

චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු යළිත් ජාතික චිත්‍රපට සංස්ථාවට

by Staff writer 19-06-2019 | 6:18 PM
COLOMBO (News 1st) : අධිකරණ නියෝගයක් අනුව චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු නැවතත් ජාතික චිත්‍රපට සංස්ථාවට හිමිව තිබේ. වසර ගණනාවක් පෞද්ගලික සිනමා මණ්ඩල සතුව තිබූ චිත්‍රපට බෙදා හැරීමේ කටයුතු ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා දීමට විෂය භාර හිටපු අමාත්‍යවරයා ගෙන තිබු තීරණය සහ, චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාගේ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම වළක්වන ස්ථිර අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ඊ.ඒ.පී. ඇතුළු සමාගම් 4 ක් කර තිබූ ඉල්ලීම අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේ ය. කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ඊට අදාළ නියෝගය නිකුත් කරමින් සඳහන් කළේ, විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා 2018 වසරේ ජුනි මස 19 වන දා ගෙන තිබු එම තීරණය නීත්‍යනුකූල හා අවසානාත්මක තීරණයක් යැයි අධිකරණයට පෙනී යන බවයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී චිත්‍රපට ශාලා 177 කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත්, ඉන් 67 ක් සංස්ථාව සතුව ඇති බවත්, පෙත්සම්කාර සමාගම් සඳහන් කර තිබිණ. ඔවුන් කියා සිටියේ වසර 18 ක් තිස්සේ පෞද්ගලික සිනමා මණ්ඩල මගින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදුවූ බවයි. චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක කළ හොත් චිත්‍රපට කර්මාන්තය කඩා වැටී සිය සමාගම්වලට දැඩි අලාභයක් සිදුවන බව ද පෙත්සම්කරුවන් පෙන්වා දී තිබිණ. දිසා අධිකරණය හමුවේ මෙය ගොනු කරනු ලැබ තිබුණේ ඊඒපී, -සිනමා එන්ටර්ටේන්මන්ට් ලිමිටඩ්, ලංකා ෆිල්ම් ඩිස්ට්‍රිබියුටර්ස් හා -මූවී ප්‍රඩක්ෂන්- යන සමාගම් විසිනි.