ඛෂෝගි ඝාතනයේ වගකීම සෞදියට

ඛෂෝගි ඝාතනයේ වගකීම සෞදියට

by Staff writer 19-06-2019 | 6:29 PM
COLOMBO (News 1st) : සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විමර්ශකයෙකු සිය වාර්තාව ඉදිරිපත් කරමින් නිගමනය කර ඇත්තේ එම චෝදනා තහවුරු කිරීමට ශක්තිමත් සාක්ෂි ඇති බවයි. ඒ අනූව අදාළ ඝාතනයට සෞදි අරාබිය වගකිවයුතු බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ එක්සත් ජාතීන්ගේ විමර්ශක ඇග්නස් කැලමාර්ඩ් නිගමනය කර තිබේ. තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සියුලර් කාර්යාලය තුළදී ජමාල් ඛෂෝගි ඝාතනයට ලක්වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 2 වැනිදායි. ජමාල් ඛෂෝගි, කොන්සල් කාර්යාලයට පිවිසීමට සුළු වේලාවකට පෙර පටිගත කරන ලද හඬ පටයක් ද විමර්ශන නිලධාරීන්ට හමුවී තිබේ. එහි සඳහන් වන්නේ සෞදි ඔටුන්න හිමි කුමරුගේ සමීපතමයෙකු තවත් සෞදි නිලධාරියෙකු සමඟ කළ සංවාදයකි. එහිදී සෞදි කුමරුගේ සමීපතමයා විමසා සිටින්නේ, බිලිදීමට නියමිත සත්ත්වයා පැමිණියේ ද යන්න පිළිබඳවයි. ඊට ප්‍රතිචාර ලෙස ඔහු පැමිණි බව අනෙක් පුද්ගලයා සඳහන් කර ඇතත්, ඛෂෝගිගේ නම ඔවුන් එම සංවාදයේදී භාවිත කර නොමැත.