ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනපති හමුවෙයි

සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත්ව යයි

by Staff writer 09-06-2019 | 1:02 PM

COLOMBO (News 1st) - නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වීක සාකච්ඡා අද පස්වරුවේ පැවැත්විණ.

ජනාධිපතිතුමාගේ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර නිල හමුව පැවැත්වුණේ, ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබූ අතර, ආචාර වෙඩි මුර සහිත හමුදා උත්තමාචාරයක් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පුද කෙරිණ. ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක මෙරටට පැමිණ ලෝකයට ලබා දුන් පණිවිඩය පිළිබඳව ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කරමින් අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් සහ විශ්වාසනීය සබඳතාව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයෙන් වඩාත් පිළිබිඹු වන බව ද පවසා තිබේ. ජනාධිපතිවරයා පවසා ඇත්තේ, නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථීක, වෙළඳ මෙන්ම සංචාරක ක්ෂේත්‍ර උන්නතියට වඩා යහපත් තත්ත්වයක් ඇතිවනු ඇති බවයි. සහෝදර සහ මිත්‍ර රාජ්‍යන්වල යුතුකම වන්නේ, අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බව, නරේන්ද්‍ර මෝදී අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත. ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද එලෙසම බව ද, මෝදී මහතා වැඩිදුරටත් පවසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දෙරට අතර, ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම සහ කලාපීය ආරක්ෂාව මෙන්ම සාමය සහ ස්ථාවරත්වය පිළිබඳව ද දෙරටේ නායකයින් සාකච්ඡා පැවැත්වූ බවයි. කුමන අන්දමේ හෝ ත්‍රස්ත ප්‍රහාරයක් තරයේ හෙළා දකින බව, අවධාරණය කළ නායකයින් ත්‍රස්තවාදය දුරලීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කළ යුතු බව ද අවධාරණය කර තිබේ. ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පෙරවරු 11.00 ට පමණ මෙරටට පැමිණි අතර ඔහු සමග පැමිණි දූත පිරිස 59කි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරු හා විදේශ අමාත්‍යාංශයේ නිලධාරිහු රැසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රැගත් ආරක්ෂක රථ කොළඹ බලා පිටත් විය. ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ද නිරීක්ෂණය කළේ ය. මේ අතර, ඉන්දීය අග්‍රමාත්‍යවරයා අද පස්වරු 4.15 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් නැවත ඉන්දියාව බලා පිටත්ව ගියේ ය. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , අමාත්‍ය සජිත් ප්‍රේමදාස , නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.