ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නැහැ - හමුදාපති කියයි

by Staff writer 16-05-2019 | 9:02 PM
COLOMBO (News 1st) - ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි. හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීහු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුදාපතිවරයාට දුන් දුරකතන ඇමතුම පිළිබඳව විමසූහ. ඊට පිළිතුරු ලබා දෙමින් හමුදාපතිවරයා පැවසුවේ, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තමාට දුරකතන ඇමතුමක් ලබා දී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් නිදහස් කරන ලෙසට තමන්ගෙන් ඉල්ලීමක් කළ බව ය. තවත් වසර එකහාමාරකින් යළි දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙසට යුද හමුදාපතිවරයා එහිදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ දුරකතන ඇමතුමට පිළිතුරු ලබා දෙමින් පවසා තිබේ. මහේෂ් සේනානායක මහතා පැවසුවේ, අදාළ පුද්ගලයාව වසර එකහාමාරක් සිරගත කිරීමට තමන්ට නීතියෙන් බලයක් ඇති බව ය.