තිලක් මාරපන අමෙරිකාවෙම නතර විය යුතුයි, ලංකාවට ඒමෙන් ඵලක් නැහැ - අනුර කුමාර

by Staff writer 16-05-2019 | 10:00 PM
COLOMBO (News 1st) - විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පිඕ මහතා අතර නිල සාකච්ඡාවක් අද පැවැත්වේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, එරට වේලාවෙන් පෙරවරු 9.30ට මෙම සාකච්ඡාව ආරම්භ වන බව ය. අප කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අමෙරිකාව බලා පිටත්වූ බව තහවුරු කළ විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ, ද්වීපාර්ශවික සාකච්ඡා කිහිපයක් එහිදී පැවැත්වෙන බව ය. කෙසේ වෙතත් එම සාකච්ඡා පැවැත්වෙන්නේ කිනම් කරුණක් පිළිබඳව ද යන්න මේ අවස්ථාවේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළ නොහැකි බව ද එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. මේ අතර මහජන ආරක්ෂාව වෙනුවෙන් ජාතික සමගිය ගොඩනගමු යන තේමාවෙන් අද පස්වරුවේ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා තිලක් මාරපන අමාත්‍යවරයා සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය. දිසානායක මහතා අවධාරණය කළේ, තිලක් මාරපන අමාත්‍යවරයා අමෙරිකාව සමග විනාශකාරී එකඟතාවකට එළැඹෙනවා නම් ඔහු අමෙරිකාවේ ම නතර විය යුතු බවත් ඔහු ලංකාවට ඒමෙන් ඵලක් නොවන බවත් ය.