බුද්ධි තොරතුරු රැස් කිරීමේ විමර්ශන කේන්ද්‍රයක්

බුද්ධි තොරතුරු රැස් කිරීමේ ඒකාබද්ධ විමර්ශන කේන්ද්‍රයක් පිහිටු වීමට බ්‍රිතාන්‍යයේ සහය

by Staff writer 03-05-2019 | 8:12 PM
COLOMBO (News 1st) - බුද්ධි අංශ තොරතුරු එක්රැස් කිරීමේ ඒකාබද්ධ විමර්ශන කේන්ද්‍රයක් බ්‍රිතාන්‍ය පිහිටු වූ පරිදි මෙරට ද ඇති කළ යුතු බව එරට ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය බෙන් වොලොස් මහතා පවසයි. අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බව ය. ත්‍රස්ත අභියෝග හමුවේ ජනාධිපතිතුමා ගත් පියවර තුළින් සාර්ථකව ත්‍රස්තවාදය පාලනය කිරීමට හැකිවීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයාට සිය ප්‍රසාදය පළ කළේ ය. ඔහු පෙන්වා දුන්නේ, මෙවැනි ගෝලීය ත්‍රස්ත සංවිධානයකට මුහුණ දීමේදී අන්තර්ජාතික සහය අවශ්‍ය බව ය. ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දේශපාලන නායකත්වය වැදගත් බව පෙන්වා දෙන බෙන් වොලොස් මහතා ත්‍රස්ත අභියෝග මුලිනුපුටා දැමීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාව ඇතැයි ද ප්‍රකාශ කළේ ය. මෙහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, අසීරු අවස්ථාවේ බ්‍රිතාන්‍ය රජය දැක්වූ සහය පිළිබඳව ස්තුතිය පළ කරන බව ය. විමර්ශන සඳහා සහය දීමට බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විශේෂ කණ්ඩායමක් දිවයිනට එවීම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ස්තුතිය පළ කළේ ය. බ්‍රිතාන්‍ය හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකුව සිටි එරට ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා සමග බ්‍රිතාන්‍ය ප්‍රතිත්‍රස්ත හා ආරක්ෂක කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටොම් බර්න්ග්, නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ටොම් හර්ඩ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද ජනාධිපතිතුමා සමග පැවති හමුවට එක්ව සිටියහ.