පොලිස් බල ප්‍රදේශ තුනකට පොලිස් ඇඳිරි නීතිය

සයින්දමර්දු පිපිරිමෙන් තුවාල වූ දරුවා සහ කාන්තාව සහරාන්ගේ දරුවා සහ බිරිඳ බව හෙළිවෙයි

by Staff writer 28-04-2019 | 10:41 PM
COLOMBO (News 1st) : කල්මුණේ, සමන්තුරේ සහ චවලකඩේ පොලිස් බලප්‍රදේශවලට අද පස්වරු 5 සිට යළිත් පොලිස් ඇදිරිනීතිය පනවා තිබේ. එම ප්‍රදේශවලට පෙරේදා රාත්‍රියේ සිට පනවා තිබූ පොලිස් ඇදිරිනීතිය අද පෙරවරු 10 ට තාවකාලිකව ඉවත් කළ අතර අද පස්වරු 5 සිට යළි ක්‍රියාත්මක කෙරිණ. ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර, නිව්ස්ෆස්ට් කණ්ඩායමක් ද එම ප්‍රදේශයේ රැඳී සිටී. දේවස්ථාන 03ක් හා ප්‍රධාන හෝටල් 03ක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සතියක් සපිරෙන විට ප්‍රහාරකයන්ගේ අනාගත සැලසුම් රැසක් ව්‍යාර්ථ කිරීමට ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලිසිය සමත්ව තිබේ. රට පුරා සිදුකළ විමර්ශන කටයුතු අතර, අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් පසුගිය දින දෙකෙහි සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය ගබඩා ප්‍රහාරකයන්ගේ බලාපොරොත්තු බිඳ හෙළීමට සමත්වූ සුවිශේෂි වැටලීම් කිහිපයකි. අම්පාරට ළඟා වූ නිවුස් ෆස්ට් කණ්ඩායම පළමුව අම්පාර පොලිස් ස්ථානයට ගියේ, වැටලීම් හා සෝදිසි මෙහෙයුම්වලින් සොයා ගත් බොහෝ දේ වැඩිදුර පරීක්ෂණ සඳහා එහි තැන්පත් කර ඇති බැවිනි. සමන්තුරේ සායින්දමරුදුහි පෙරේදා රාත්‍රී ත්‍රස්තවාදීන් පුපුරුවා ගත් නිවාස ඇතුළු ස්ථාන කිහිපයක් ද අප කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්විය. පසුගිය දින කිහිපය තුළ අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ සේඩ්‍රල් ග්‍රාමම් මස්ජිත් පාරේ නිවසක ගරාජයකින් සහ නින්දවූර් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනිණ. ආග්‍රහණය වීම වැළක්වීම සඳහා යොදාගන්නා වායු ආවරණ ද එහි තිබී සොයා ගත් අතර ආරක්ෂක අංශ සැකකරන්නේ බෝම්බ සැකසීම සඳහා මෙම වායු ආවරණ භාවිත කරන්නට ඇති බවටයි. මේ අතර මෙහිදි සොයා ගනු ලැබු කාන්තාවන් භාවිත කරන සුදු ඇදුම් කිහිපයක් පිළිබඳව පොලිසියේ විශේෂ අවධානය යොමුව තිබේ. අප වාර්තාකරු ප්‍රකශ කළේ, ගිරිඋල්ල ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති සුදු ඇදුම් කට්ටලවල 9 කින් 5 ක් පමණක් එම ස්ථානයේදී තිබී හමුව ඇති බවයි. මේ අතර සයින්දරමර්දු වෙඩි තැබීම් සිදුවු නිවසේ සිට තුවාල ලබා රෝහල් ගත කළ දරුවා සහ කාන්තාව මොහොමඩ් සහරාන්ගේ දරුවා සහ බිරිඳ බවට මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.