පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ගේ වතගොත මෙන්න..

පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ගේ වතගොත මෙන්න..

by Staff writer 25-04-2019 | 8:08 PM
COLOMBO (News 1st) : පාස්කු ඉරිදා අනිවාර්යයෙන් ම ප්‍රහාරයක් එල්ල වන බවට ඊට පෙර දින රාත්‍රියේ විදේශ බුද්ධි සේවා පොලීසිය දැනුවත් කර තිබු බව වාර්තා වේ. උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, පසුගිය 20 වනදා රාත්‍රී 7.00 ට පමණ ඒ පිළිබඳව යළි බුද්ධි අංශවලින් දැනුම්දීමක් ලැබුණු බවයි. පසුගිය 11 වන දා විදෙස් ඔත්තු සේවා ‍ මේ පිළිබඳ ලිඛිතව දැනුවත්කර කර ඇති අතර බස්නාහිර දකුණ ප්‍රදේශයේ ඒ අනුව විශේෂ ආරක්ෂක සැලස්මක් සකසා තිබේ. ප්‍රහාරයට පෙර දින රාත්‍රී 7 .00ට ලැබුණු තොරතුරුවලට අනුව එම ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෙහිවල ප්‍රදේශය් දේවස්ථාන ඉලක්ක කර සිදුකිරීමට ගිය ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය. පෙරදින රාත්‍රියේ ම ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බස්නාහිර දකුණ පොලිස් කොට්ඨාසය පියවර ගෙන තිබිණ. දෙහිවල දේවස්ථාන තුනක් වෙත ගිය බෝම්බකරුට තම ප්‍රහාරය සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඒ හේතුවෙනි. මේ අතර මොහොමඩ් යුසුෆ් ඊබ්‍රාහිම් නමැත්තා ත්‍රස්ත ප්‍රහාරවලට ආධාර අනුබල දීමේ චෝදනාවලට සැකපිට පොලීසිය විසින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන බව CNN පුවත් සේවය අද වාර්තා කළේ ය. මොහොමඩ් යුසුෆ් ඊබ්‍රහිම් යනු ප්‍රහාරවලට සම්බන්ධ සො‍හොයුරන් දෙදෙනෙකුගේ පියායි. ෂෑංග්‍රිලා හෝටලයට ප්‍රහාරය එල්ල කළ ඉල්හාම් සහ ඉන්ෂාෆ් එකම පවුලේ සහෝදරයින් බවට මේවනවිට තොරතුරු අනාවරණය වී තිබේ. මේ අතර රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන මහතා උපුටා දක්වමින් CNN පුවත් සේවය පවසන්නේ මෙම ප්‍රහාරයට සම්බන්ධ ඉල්ලහාම් අහමඩ් ඊබ්‍රහයිම් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව නිදහස් කළ බවයි. ලන්ඩන් ඩේලි මේල් වාර්තාවක දැක්වෙන්නේ ඔවුන් දෙදෙනා සිනමන් සහ ෂැංග්‍රිලා යන හෝටල් දෙකට වෙන්ව ප්‍රහාර එල්ල කර ඇති බවයි. ආධාර සහ අනුබල ලබාදීමේ චෝදනාවලට සැකපිට පොලිස් භාරයට ගෙන ඇත්තේ ඔවුන්ගේ පියා වන යුසුෆ් ඊබ්‍රාහිම් ය. කුළු බඩු ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු ඊට අමතරව තවත් ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකු බව වාර්තා වේ. ඊබ්‍රාහිම්ට දරුවන් 9 ක් සිටින අතර ඉන් 6 දෙනෙක් පිරිමි දරුවෝ වෙති. ඔහුගේ එක් පුත්‍රයෙකු වන ඉන්ෂාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවෙහි ප්‍රහාර සඳහා භාවිත කළ බෝම්බ නිෂ්පාදනය කරන්නට ඇතැයි සැක කෙරෙයි. ඉන්ෂාෆ්ගේ බිරිඳ මෙරට ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුගේ දියණියක බව ද වාර්තා වේ. පිපිරීම්වලින් පසු ඔවුන්ගේ දෙමටගොඩ නිවස ඉදිරිපිට නවතා තිබූ බී එම් ඩබ්ලිව් වර්ගයේ මොටර් රථය පවුලේ බාල ම දියණියගේ ස්වාමි පුරුෂයාට අයත් එකක් බව පැවසෙයි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට අයත් පානිය ජල බෝතලයක් හමුවූයේ ද එම මෝටර් රථයේ තිබියදීයි. තම දරුවන් දෙදෙනා ද සමග ‍දෙමටගොඩ නිවසේදී බෝම්බයක් පුපුරවාගෙන මියගියේ ඉල්හාම්ගේ බිරිඳ වන අතර, ඇය මිය යනවිට ගැබිණියක බව ද ඩේලි මේල් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. https://www.youtube.com/watch?v=Nqrr4XzSZ_4