ප්‍රදේශ රැසකට අකුණු සහිත මහ වැසි

ධීවර හා නාවික කටයුතුවලින් වළකින්නැයි, කාලගුණෙන් දැනුම්දීමක්

by Staff writer 25-04-2019 | 5:23 PM
COLOMBO (News 1st) : දිවයිනට ගිනිකොන දෙසින් පිහිටි අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් දිවයිනට නැගෙනහිර හා ගිනිකොණ දෙසින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවයි. මේ අතර අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. මේ අතර සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව , බස්නාහිර, උතුරුමැද හා වයඹ පළාත්වලට ප්‍රබල අකුණු සමග ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි පැය කිහිපය සඳහා කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිඟුරුම් සහිත වැසි සමග පැයට කිලෝමිටර් 70 -80 අතර වේගයකින් තද සුළං හමා යා හැකි බවයි. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. https://www.youtube.com/watch?v=_6sggo8UlWg