by Chathuranga Rajapaksha 25-04-2019 | 5:05 PM
COLOMBO (News 1st) : පසුගිය 21 වෙනිදා රට තුළ සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවත් සමග මේ වනවිට ආරක්ෂක අංශ විවිධ ස්ථානවල සෝදිසි කිරීම් සිදුකරමින් පවතී.
ඒ අනුව කුරුණෑගල නගරය, රත්නපුර නගරය, හිඟුරක්ගොඩ නගරය, බදුල්ල රෝහල, හලාවත රෝහල, පුත්තලම රෝහල, අනුරාධපුර නගරය සහ පළාත් සභා ගොඩනැගිල්ල, බලංගොඩ උසාවිය, දඹුල්ල නගරය, වව්නියාව, කිලිනොච්චිය, කලවංචිකුඩි, අඩ්ඩාලච්චේන, පිටකොටුව සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය.
මේ අතර සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙන් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු ද මද වේලාවකට තාවකාලිකව නවතා දැමුණි.
ඒ, හේතුවෙන් ගුවන් තොටුපොළ ඉදිරිපිට මාර්ගය ද තාවකාලිකව වසා දැමුණි.
අනතුරුව සියලු පරීක්ෂා කිරීම්වලින් පසු යළිත් ගුවන් තොටුපොළේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කළ බව එහි බලධාරීන් අපවෙත සඳහන් කළේය.
මාවනැල්ල නගරයේදි සැකකටයුතු යතුරුපැදියක් ද පරීක්ෂා කර තිබේ.
මේ අතර ගල්කිස්ස, ලැවිනියා ගාර්ඩ්න්ස් පාරේ දමාගොස් තිබූ සැකසහිත ගමන් මල්ලක් පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම් දී තිබේ.
අනතුරුව එය ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කරනු ලැබුවා.
පසුව අසළ තිබූ සී.සී.ටී.වී. පරික්ෂා කිරිමෙන් අනතුරුව දැක ගැනීමට ලැබුණේ කාන්තාවක් එම ගමන් මල්ල දමාගොස් ඇති බව ය.
මේ අතර පූගොඩ ප්‍රදේශයේ හිස් ඉඩමක කිසියම් පිපිරීමක් සිදු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඉන් කිසිදු හානියක් සිදු වී නැතැයි ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මෝදර, මුතුවැල්ල මාර්ගයේදී අද (25) දහවල් සිදු කරනු ලැබූ වැටලීමකින් කඩු 6ක් සහ දේශීයව නිෂ්පාදිත අඩු බලයෙන් යුත් පුපුරණද්‍රව්‍ය සහිත අත්බෝම්බ 21ක් සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, වෑන් රථයක් සමග සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ය.
මේ අතර නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ මහින්ද මාවතේ ඇළකින් ඩෙටනේටර් 200ක් සොයාගත් බව පොලීසිය පවසයි.
මේ අතර දෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර සියලු පාසල් හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දෙවන පාසල් වාරය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත ය.
පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව විශේෂ ක්‍රියාන්විතයක් දියත් කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දෙමාපියන්ගේ ද සහය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් රජය පවසන්නේ ත්‍රස්තවාදයට එරෙහි ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස ය.
එමෙන්ම මෙහෙයුම්වලට අදාළව ඇතැම් පුද්ගලයින් සිදුකරන කෙටි පණිවුඩ, කටකථා හා වෙනත් අවිධිමත් සන්නිවේදනයන් හේතුවෙන් මහජනතාව දැඩි ලෙස කලබලවීම ඔවුන්ගේ දෛනික කටයුතුවලට බාධාවක් වී ඇති බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේය.