හිටපු නාවික හමුදාපතිගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්

හිටපු නාවික හමුදාපතිගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්....

by Staff writer 09-04-2019 | 11:46 AM
COLOMBO (News 1st) : හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ, 2008 වසරේ කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු වන ප්‍රසාද් හෙට්ටිආරච්චි, නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සැකකරුවන් 07 දෙනා, අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ. එහිදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ, සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරන ගෙන අවසන් බවත්, එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමර්ශනය කර, ඉදිරි නඩු දිනයේදී විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.