ඉන්දු - ලංකා නව සහයෝගීතා වැඩපිළිවෙලක්

මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමට ඉන්දු - ලංකා නව සහයෝගීතා වැඩපිළිවෙලක්

by Staff writer 08-04-2019 | 4:13 PM

COLOMBO (News 1st) - නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම හා මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නව සහයෝගීතා වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාවය පළ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා හා ජනාධිපතිතුමා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ සාකච්ඡා කළ බවයි. කලාපීය ආරක්ෂාව වෙනුවෙන් නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම හා මිනිස් ජාවාරම මැඩලීමේදී ඉන්දු ශ්‍රී ලංකා සහයෝගීතාව තුළ පුළුල් අවබෝධයකින් හා එකඟතාවයකින් කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. එමෙන්ම ශ්‍රී ලාංකීය ආරක්ෂක හමුදාවන්ට ඉන්දීය රජය ලබා දෙන පුහුණු අවස්ථා පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී සිය ස්තූතිය පළ කර ඇති අතර එම පුහුණු අවස්ථා තවදුරටත් ඉහළ නංවා ගැනීමට සහය වන්නැයි ජනාධිපතිතුමා ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.