දිස්ත්‍රික්ක රැසකට හෙටත් උණුසුම අධිකයි

දිස්ත්‍රික්ක රැසකට හෙටත් උණුසුම අධිකයි

by Staff writer 31-03-2019 | 5:55 PM
COLOMBO (News 1st) : පුත්තලම, කුරුණෑගල, මන්නාරම, වව්නියාව, මුලතිව්, හම්බන්තොට ,මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කවල හෙට උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. මේ අතර අද පෙරවරු 8.30 න් අවසන්වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 37.3 වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා විය. ඊට අමතරව අනුරාධපුරය , කුරුණෑගල සහ මහඉලුප්පල්ලම ප්‍රදේශවල උෂ්ණත්වය ද සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 03 කින්, ඉහළ ගොස් තිබේ. බදුල්ල ,හම්බන්තොට , රත්මලාන ,රත්නපුර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 02 කින් ඉහළ ගොස් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, රත්මලාන , කොළඹ ,ගාල්ල , හම්බන්තොට , රත්නපුර ,වව්නියාව , නුවරඑළිය, සහ බදුල්ල ප්‍රෙද්ශවල රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 02 ත් 03 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවයි.