මුල් පෙළ සහය නැතිවීමෙන් ඉසුරු උදානගේ ඉනිම අපතේ යයි

මුල් පෙළ සහය නොමැතිවීමෙන් ඉසුරු උදානගේ ඉනිම අපතේ යයි

by Staff writer 23-03-2019 | 8:00 AM

COLOMBO (News 1st) - තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තව ත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

ඒ, දෙරට අතර පැවැති දෙවන තරගය ලකුණු 16 කින් ජය ගැනීමත් සමගයි. දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදි පැවැති තරගයේ කාසිය වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 යි 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් රැස් කළේ ය. පන්දුවාර 20 යි 20 දිවියේ තුන්වන අර්ධ ශතකය වාර්තා කළ රීසා හෙන්ඩ්රික්ස් ලකුණු 35 ක් රැස් කළ අතර සිය දිවියේ දෙවන පන්දුවාර 20 යි 20 අර්ධ ශතකය වාර්තා කළ රසී වෑන් ඩර් ඩසන් ලකුණු 64 යි. නොදැවී කඩුල්ලේ රැඳි සිටි නායක ජේ. පී. ඩුමිනි ලකුණු 33 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී ලසිත් මාලිංග, ඉසුරු උදාන හා අකිල ධනංජය අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. අනතුරුව ලකුණු 181 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 56 ක් තුළ බිඳ වැටුණි. නිරෝශන් දිල්වැල්ල ලකුණු 20 ක් රැස් කළ අතර තිසර පෙරේරා ලකුණු 22 ක් රැස් කළේ ය. හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ ඉසුරු උදාන සිය මංගල පන්දුවාර 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛයාව 84 ක්. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී හතරේ පහර 8 ක් හා හයේ පහර 6 ක් සමගින් දියත් වූ ඉසුරු උදානගේ ඉනිමට මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 164 ක් පමණි. පන්දු යැවීමේදී ක්‍රිස් මෝරිස් කඩුලු 3 ක් දවා ගත් අතර ඩේල් ස්ටේන් හා ටබ්රායිස් ශැම්සි කඩුලු 2 බැගින් දවා ගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී එරටට එරෙහිව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියක් පරාජයට පත්වූයේ 2013 වසරෙන් පසුවයි.