බන්ධනාගාරගතව සිටින අමල් සහ නදීමාල් වෙනුවෙන් ඇප අයැදුම්පතක් යොමු කිරීමට සැලසුම්

by Staff writer 15-02-2019 | 9:40 PM

COLOMBO (News 1st) - ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් කඩිනමින් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි.

ඩුබායි සිට නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ලබන 28 වන දා දක්වා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. මාකදුරේ මධුෂ් නමැත්තා ඇතුළු 29 දෙනා ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. ඔවුන් පිළිබඳ සිදුවන නීතිමය කටයුතු පිළිබඳව ද අප නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතාගෙන් විමසීමක් කළේ ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඩුබායි කොන්සර්ජනරාල් කාර්යාලය සහ අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලය මගින් නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ. පසුගිය 04 වැනි දා රාත්‍රියේ කොකේන් මත්ද්‍රව්‍ය ද සමගින් මෙම පිරිස තරු පංතියේ හෝටලයකදී අත්අඩංගුවට පත්වුණේ එරට පොලීසිය කළ මෙහෙයුමකදී යි. මේ අතර ඊයේ ග්‍රෑන්ඩ්පාස් මැල්වත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව ආශා ෆාරි හෙවත් කුඩු චූටි ලෙසින් හැඳින්වෙන කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ බව පොලීසිය පවසයි. ඊයේ රාත්‍රි 9.00 ට පමණ මෙම ඇගේ නිවසට ඇතුළු වූ පුද්ගලයෙක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණි. පොලීසිය පැවසුවේ ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා තව ත් අයෙකු සමග යතුරුපැදියකින් පළා ගොස් තිබූ බවයි. තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇති.