අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිද

අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී

by Staff writer 11-02-2019 | 1:07 PM
  61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්මානය දිනා ගත්තේ සුපිරි පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ ය. ස්වීට්නර් නමැති ගීත ඇල්බමය වෙනුවෙන් හිමි වූ මෙය, ඇය දිනාගත් ප්‍රථම ග්‍රැමී සම්මානයයි. මෙවර ග්‍රැමී සම්මාන උළෙලේ රූප මාධ්‍ය වෙනුවෙන් රචිත හොඳම ගීතයට හිමි සම්මානය දිනාගත්තේ සුපිරි පොප් ගායිකා ලේඩි ගාගා ය. ඒ, - අ ස්ටාර් ඉස් බෝර්න් - චිත්‍රපටයේ ඇතුළත් ශැලෝ ගීතය සඳහායි. රූප මාධ්‍ය සඳහා රචිත හොඳම ගීතයට සහ යුවලක් එක්ව ගායනා කළ හොඳම පොප් ගීතයට හිමි සම්මාන දෙකම එම ගීතයට හිමිවීම විශේෂත්වයකි. හොඳම පොප් ගීතයට හිමි සම්මානය දිනාගැනීමට ද ලේඩි ගාගා සමත් වු අතර එය හිමිවූයේ - ජොඈන්- ගීතය වෙනුවෙනි. මෙවර ග්‍රැමී සම්මාන උළෙලේ හොඳ ම ගීත ඇතුළත් රූප මාධ්‍යයට හිමි සම්මානය ද ග්‍රේටස්ට් ශෝ මෑන් චිත්‍රපටයට හිමිවිය. වසරේ ගීතය , හොඳ ම සංගීත වීඩියෝව මෙන්ම හොඳ ම රැප් ගීත ඉදිරිපත් කිරීමට හිමි සම්මාන දිනාගත්තේ - දිස් ඊස් අමෙරිකා - ගීතය වෙනුවෙන් චයිල්ඩිෂ් ගැම්බිනෝ ය. හොඳ ම රොක් ඇල්බමයට හිමි සම්මානය ෆ්‍රොම් ද ෆයර්ස් වෙනුවෙන් ග්‍රේටා වෑන් ෆ්ලීට් දිනාගත්තේ ය. හොඳම රොක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් සම්මානය හිමිවුයේ වෙන් බෑඩ් ඩස් ගුඩ් ගීතය වෙනුවෙන්, අභාවප්‍රාප්ත ක්‍රිස් කෝනෙල්ටයි. හොඳ ම මෙට්ල් සංගීත ඉදිරිපත් කිරීමට හිමි සම්මානය ඉලෙක්ට්‍රික් මෙසියා ඇල්බමය වෙනුවෙන් හයි ඔන් ෆයර් හිමිකරගත්තේ ය. මෙවර ප්‍රථම වරට ග්‍රැමී සම්මානයක් දිනාගැනීමට සුපිරි පොප් ගායිකා දුවා ලීපා සමත් විය. ඒ , හොඳම නර්තන පටිගත කිරීම වෙනුවෙනි. හිටපු අමෙරිකානු ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමා , ග්‍රැමී සම්මාන උළෙලේ කාන්තාවන් සවිබලගැන්වීමේ පණිවුඩයක් ඉදිරිපත් කළේ ය. ඒ සම්මාන උළෙලේ නිවේදන කටයුතු සිදුකළ ඇලීෂියා කීස් , ලේඩි ගාගා , ජෙනිෆර් ලෝපේස් සහ ජාඩා පින්කට් ස්මිත් වැනි සුපිරි තරු සමඟින්. කෙසේ වෙතත්, ටේලර් ස්ෆිට්, වැනි සුපිරි තරු රැසක් මෙවර ග්‍රැමී සම්මාන උළෙලට සහභාගි නොවීම කැපී පෙනිණ.