Facebook සාදයේදී අත්අඩංගුවට ගත් 85 දෙනාට ඇප

Facebook සාදයේදී අත්අඩංගුවට ගත් 85 දෙනාට ඇප

by Sagarika Chathumali 03-02-2019 | 9:20 PM
COLOMBO (News 1st) : විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමග ඊයේ රාත්‍රී හිඟුරක්ගොඩ හෝටලයකදී අත්අඩංගුවට පත් තරුණ තරුණියන් 85 දෙනෙකු ඇප මත මුදා හැරිණ. හිඟුරක්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ශිරාන්ති වැරැල්ලගම මහත්මිය වැඩිදුරටත් නියෝග කළේ, අදාළ හොටල් කළමනාකරු හා තවත් 04 දෙනෙකු ලබන 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. Facebook සමාජ ජාලය හරහා ඊයේ රාත්‍රියේ මින්නේරිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් සංවිධානය කර තිබිණ. ඒ අනුව ඊයේ පස්වරුවේ ගාල්ල, මාතර, කොළඹ, නුවරඑළිය, මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක තරුණ තරුණියන් 200කට අධික පිරිසක් මින්නේරියට පැමිණියේ අදාළ සාදය සඳහා රුපියල් 2500ක් ටිකට් පතක් ද මිලදී ගෙනයි. අදාළ හෝටලයට පැමිණි පසු සංවිධායකයින් ඔවුන්ව සාදය සඳහා හිඟුරක්ගොඩ වෙනත් හෝටලයකට යොමු කර තිබේ. එම හෝටලයේදී අදාළ සාදය ආරම්භ වූයේ ඊයේ රාත්‍රි 10ට පමණි. සාදය ආරම්භ වී පැයක් පමණ ගතවද්දී, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් 43 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස හෝටලය වැටලීමට පියවර ගත්තේ, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිත වන බවට ලද තොරතුරක් අනුවයි. මධ්‍යම රාත්‍රිය ළඟාවනවාත් සමගම පොලිස් කණ්ඩායම් සාදය පැවැත්වෙන ශාලාවට ඇතුලු වූ අතර, එහි එක්ව සිටි පිරිස් පරික්ෂා කිරීමේදී විවිධ මත්ද්‍රව්‍ය වර්ග සන්තකයේ තිබූ 89 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය. ඒ අතර තරුණියෝ 6 දෙනෙක් ද වෙති. අත්අඩංගුවට ගත් පිරිස සතුව අබිං,හෙරොයින්, ගංජා, ඇපල් වර්ගයේ මත්පෙති ඇතුළු විවිධ වර්ගවල නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වර්ග රැසක් තිබූ බව පොලීසිය පැවසී ය. ඉන් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබී ඇත්තේ අත්අඩංගුවට පත් වු තරුණියන් 6 දෙනා සතුව වීම විශේෂත්වයකි. https://www.youtube.com/watch?v=aMXWB2g4y5Q