SL vs AUS ටෙස්ට් තරග මාලාවෙන් ගුණතිලක ඉවතට

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට එක්වන සංචිතය නිවේදනය කරයි

by Staff writer 09-01-2019 | 7:40 AM
COLOMBO (News 1st) - ටෙස්ට් තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට සහභාගී වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කර තිබේ. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන ජනවාරි මස 24 වන දා ආරම්භ වේ. පසුගියදා නවසීලන්තය සමග පැවති ටෙස්ට් තරග ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක මෙම ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන කුසල් ජනිත් නැවත වතාවක් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. කුසල් ජනිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා යළිත් වතාවක් කැඳවා ඇත්තේ, පසුගිය වර්ෂයේ ජුනි මාසයේදී පැවති ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ය. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මේ දක්වා ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කර තිබෙන කුසල් ජනිත් ලකුණු 657ක් රැස් කර ගෙන සිටින අතර ඊට ටෙස්ට් ශතකයක් හා ටෙස්ට් අර්ධ ශතක 3ක් ඇතුළත් ය. නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ ටෙස්ට් තරග දෙකටම සහභාගී වූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඉනිම් 4ම ක්‍රීඩා කරමින් රැස් කර ගැනීමට හැකි වූයේ, ලකුණු 16ක් පමණි. නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අතරතුර ආබාධයකට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතය සඳහා නම් කර නොමැත. නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කළ නමුත්, මේ මස 24 වන දා ආරම්භ වන ඔස්ට්‍රේලියානු තරගාවලිය සඳහා නම් කළ සංචිතයට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 16 දෙනෙකු පමණි. දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ අතර දිමුත් කරුණාරත්න උප නායකත්වය දරයි. ඒ අනුව ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට සහභාගී වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහත පරිදි වේ.
  1. දිනේෂ් චන්දිමාල් - නායක
  2. දිමුත් කරුණාරත්න - උප නායක
  3. ලහිරු තිරිමාන්න
  4. කුසල් මෙන්ඩිස්
  5. සදීර සමරවික්‍රම
  6. ධනංජය ද සිල්වා
  7. රොෂේන් සිල්වා
  8. නිරෝෂන් දික්වැල්ල
  9. කුසල් ජනිත් පෙරේරා
  10. දිල්රුවන් පෙරේරා
  11. ලක්ෂාන් සඳකැන්
  12. සුරංග ලක්මාල්
  13. නුවන් ප්‍රදීප්
  14. ලහිරු කුමාර
  15. දුෂ්මන්ත චමීර
  16. කසුන් රජිත
ටෙස්ට් තරග දෙකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ජනවාරි මස 17 වන දා සිට 19 වන දා දක්වා පුහුණු තරගයකට සහභාගී වන අතර ජනවාරි 24 වන දා බ්‍රිස්බේන්හිදී පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිත ය. දෙවන ටෙස්ට් තරගය ආරම්භ වන්නේ, එළැඹෙන පෙබරවාරි මස පළමු වන දා ය.