මාතර - බෙලිඅත්ත මාර්ගයේ දුම්රිය ගමන් අද ඇරඹේ

මාතර - බෙලිඅත්ත මාර්ගයේ දුම්රිය ගමන් අද ඇරඹේ

by Staff writer 06-01-2019 | 7:07 AM

COLOMBO (News 1st) - අභිනවයෙන් ඉදිකළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය අද ධාවනය කෙරේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේ අද පෙරවරුවේ එම කටයුතු සිදු කිරීමට නියමිතයි. මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් සිදු වන්නේ අදියර තුනක් යටතේයි. එහි පළමු අදියර වන්නේ, කිලෝමීටර් 26 ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසයි. එහි දෙවැනි අදියර කිලෝමීටර් 48 ක දුරකින් යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන අතර තෙවැනි අදියර කිලෝමීටර් 39 ක දුරකින් යුත් හම්බන්තොට සිට කතරගම ද දක්වා වේ. ලංකාවේ දිගම දුම්රිය උමග ද පිහිටා ඇත්තේ මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේයි. නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපොළ ආසන්නය දක්වා පිහිටි එම උමගෙහි දිග ප්‍රමාණය මීටර් 615 කි. මීට පෙර දිගම දුම්රිය උමග වූයේ සිංගිමලේ උමගයි.