අධිවේගී මාර්ගයෙන් වාර්තාගත ආදායමක්

අධිවේගී මාර්ගයෙන් වාර්තාගත ආදායමක්

by Staff writer 25-12-2018 | 10:32 AM
COLOMBO (News 1st) - අධිවේගී මාර්ගයේ වාහන ධාවනය පසුගිය වසරට සාපේක්ෂව 15%කින් පමණ ඉහළ ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, පසුගිය සිකුරාදා අධිවේගී මාර්ග ආදායම මෙතෙක් වාර්තා වූ ආදායම් අතරින් ඉහළම ආදායම බව ය. එදින අධිවේගී මාර්ගයේ ධාවනය වී ඇති වාහන සංඛ්‍යාව 120,000 ඉක්මවන අතර, රුපියල් මිලියන 32ක ආදායමක් උපයා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. පසුගිය 20 වන දා සිට දෛනිකව අධිවේගී මාර්ග භාවිත කරන වාහන සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර එය දෛනික වාහන ධාවනය හා සැසදීමේදී 30000ක පමණ ඉහළ යාමක්. එස්. ඕපනායක මහතා සඳහන් කළේ, නත්තල් උත්සවය සහ නව අවුරුදු උදාවෙන් පසු යළි කොළඹට පැමිණෙන ජනතාවට අධිවේගී මාර්ගවල කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ය. අධිවේගී මාර්ග ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇතැයි ඔහු පැවසුවේ ය.