අපේක්ෂා රෝහලට සියලු ඖෂධ සපයන්නැයි, ඇමතිගෙන් උපදෙස්

අපේක්ෂා රෝහලට සියලු ඖෂධ සපයන්නැයි, ඇමති රාජිතගෙන් උපදෙස්

by Staff writer 23-12-2018 | 3:06 PM
COLOMBO (News 1st) : මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය සියලුම ඖෂධ, හෙට දිනය වන විට ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. හිඟ ඖෂධ කිහිපයක් ගුවන් මගීන් ගෙන්වීමට ද අමාත්‍යවරයා උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. දිවයින පුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය පිළිබඳ සොයා බැලීම සඳහා වූ විශේෂ සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ. මහරගම අපේක‍ෂා රෝහලේ නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන රෝගින් සඳහා අත්‍යවශ්‍යය ඖෂධ වර්ග 5 ක හිඟයක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදී ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. ඖෂධ හිඟය හේතුවෙන් රෝගින් ඇතුළත් කර ගැනීම ද පසුගිය 21 දා සිට තාවකාලිකව අත්හිටුවා තිබේ. අවශ්‍ය ඖෂධ වර්ග 5 හෙට වනවිට මහරගම අපේක‍ෂා රෝහලට කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා නිලධාරීන්ට එහිදී උපදෙස් ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර පිළිකා ඖෂධ කඩිනමින් ලබා දීමට අපොහොසත් වන සැපයුම්කරුවන් අසාදුගත කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ. වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක‍ෂ ජෙනරාල් ලාල් පනාපිටිය මහතා පෙන්වාදී ඇත්තේ , මහරගම අපේක‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය තවත් ඖෂධ වර්ග 7ක හිඟයක් පවතින බවයි. තව ද දිවයින පුරා රෝහල්වල තවත් ඖෂධ වර්ග 71 ක හිඟයක් පවතින බව වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පෙන්වා දී ඇති අතර එම ඖෂධ වර්ග 71 කඩිනමින් මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසී ය.