"ධූරයෙන් ඉවත්වී අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමාට ඉඩ දෙනවා" - මහින්ද රාජපක්ෂ

by Staff writer 15-12-2018 | 1:29 PM

COLOMBO (News 1st) - මහ මැතිවරණයක් නොමැතිව අගමැතිධූරය දැරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති නිසාත්, තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත් ධූරයෙන් ඉවත්වී අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමාට ඉඩ දෙන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, ඒකාබද්ධ විපක්ෂයත්, ආණ්ඩුවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයත්, එක්වීමත් සමග රටේ ඡන්දවලින් 54% ක් පමණ නියෝජනය වන ප්‍රබල දේශපාලන බල කඳවුරක් දැන් නිර්මාණය වී ඇති බවයි. උතුරු, නැගෙනහිර හා කඳුරට ඡන්ද පදනමක් සහිත පක්ෂ ගණනාවක් එක් ව රටට එරෙහිව බලවේගවලට විරුද්ධ වන කිසිවෙකුටත් නැවතිය නොහැකි, දීපව්‍යාප්ත දේශපාලන බලවේගයක් නොඩනගන බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. ඔහු කියා සිටින්නේ, දැනටමත් අවුරුද්දකුත්, මාස තුනක් පමණ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීම ප්‍රධාන ඉලක්කය බවයි. තමන් ඔක්තෝබර් 26 වැනි දා අගමැතිධූරයේ දිවුරුම් දුන්නේ ජනවාරි 05 වැනි දා පැවැත්වීමට සැලසුම් කර තිබූ මහ මැතිවරණය අවසන් වන තෙක් අන්තර්කාලීන පාලනයකට පමණක් බව රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයේ සඳහන් කර ඇත. ඔහු කියා සිටියේ, ඔක්තෝබර් 26 වැනි දින ජනාධිපතිතුමා ගත් එඩිතර තීන්දුව අගය කරන බවයි. මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නැරඹිය හැකිය.