ආන්දෝලනයට තුඩු දුන් පා බැඳි පුද්ගලයෙකුගේ ඇටසැකිල්ල

මන්නාරම සමූහ මිනී වළේ කැණීම් අතරතුර හමුවූ පා බැඳි පුද්ගලයෙකුගේ ඇටසැකිල්ල පිළිබඳව පළ වන වාර්තා නිශ්චිතවම කිව නොහැකියි - වෛද්‍ය සමින්ද රාජපක්ෂ

by Staff writer 08-12-2018 | 10:06 PM
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කැණීම් අතරතුර හමු වූ ඇටසැකිලි කාබන් කාල නීර්ණය කිරීම සඳහා අමෙරිකාවේ ෆ්ලෝරීඩාහි පිහිටි ඩීටා ඇනලිටික්ස් ආයතනය වෙත යොමු කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. මන්නාරම සමූහ මිනී වළේ ප්‍රධන විමර්ශන නිලධාරී විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, කැණීම් අතරතුර හමු වූ පා බැඳි පුද්ගලයෙකුගේ ඇටසැකිල්ල පිළිබඳව පළ වන වාර්තා නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවත් ,එලෙස බැඳ ඇත්තේ කුමණ ද්‍රව්‍යක් භාවිත කර ද නැතහොත් මොනයම් ඝණ කොටසක් යොදා දැයි පරීක්ෂා කිරීම සඳහා මෙම අස්ථි කොටස් ලබන ජනවාරි මස අමෙරිකාවේ ෆ්ලෝරීඩා වෙත යැවීමට තීරණය කර ඇති බවත් ය. මෙහි ඉදිරි ඩී.එන්.ඒ. පරීක්ෂණ කුටයුතු සඳහා අදාළ මූල්‍යමය ප්‍රතිපාදන ලබා දීමට අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ඉදිරිපත්ව තිබෙන බව ද මන්නාරම සමූහ මිනී වළේ ප්‍රධන විමර්ශන නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා මූල්‍ය ගැටලු පවතින බව අසත්‍ය බව ය. ඒ සඳහා යොමු වීමට පෙර කාබන් කාල නීර්ණය සිදු කළ යුතුයි. දින 112ක් සිදු කළ කැණිම්වලින් සොයා ගත් අස්ථි කොටස් 266න් 260ක් ඉන් ඉවත් කර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ තැන්පත් කර ඇති බව ද අධිකරණ වෛද්‍ය නිලධාරියා සඳහන් කළේ ය. මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරුණේ, පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළොව කැණීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග ය.