ජනපතිගෙන් සියලු රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දීමක්

පෞ. හෝටල්වල රජ්‍ය ආයතනවල උත්සව, රැස්වීම් පැවැත්වීම සපුරා තහනම්

by Sagarika Chathumali 06-12-2018 | 9:17 PM
COLOMBO (News 1st) : අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රමුඛ රජයේ සියලුම ආයතනවල උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේදී පෞද්ගලික හෝටල්, සුඛෝපභෝගී හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියලු රාජ්‍ය ආයතන නිලධාරීන්ට දන්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබෙන බවයි. ඒවා භාවිත නොකර ඉතා අධික මිල ගණන් ගෙවා රජයේ උත්සව සහ වැඩසටහන් සුඛෝපභෝගී හෝටල්වල පැවැත්වීම මගින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.