by Staff writer 05-12-2018 | 6:38 PM
COLOMBO (News 1st) : මඩකලපුව, වවුනතිව් ප්රදේශයේ පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 30කට ආසන්න පිරිසකගෙන් ප්රකාශ ලබාගෙන තිබේ.
පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, වෙඩි තැබීම සම්බන්ධයෙන්, සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවි භාවිත කර ඇති බවට සැකකරන අතර පොලිස් නිලධාරීන් දෙදෙනා සතුව තිබී අතුරුදන් වූ පිස්තෝල දෙක මෙතෙක් සොයා ගෙන නොමැත.
පොලිස් නිලධාරීන් දෙනාගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර ඉන් එක් පොලිස් නිලධාරියෙකුගේ හිසට වෙඩි පහර 2 ක් සහ අනෙක් නිලධාරීයගේ හිසට එක් වෙඩි පහරක් තබා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි විය.
පොලීසිය පැවසුවේ, එක් පොලිස් නිලධාරියෙකුගේ සිරුරේ තියුණු කැපුම් තුවාල ද ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් බවයි.