නාලක ද සිල්වා ලබන 11 වන දා තෙක් යළි රිමාන්ඩ්

නි. පොලිස්පති නාලක ද සිල්වා ලබන 11 වන දා තෙක් යළි රිමාන්ඩ්

by Staff writer 05-12-2018 | 4:04 PM

COLOMBO (News 1st) - අනිවාර්ය නිවාඩු දන්වා ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හා ඉන්දියානු ජාතික තෝමස් මර්සරි නැමැත්තා ලබන 11 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කර තිබේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී‍ය. සැකකාර නාලක ද සිල්වා මහතා වෙනුවෙන් කළ ඇප ඉල්ලීමේ නියෝගය ලබන 11 වන දා නිකුත් කිරීමට අධිකරණය එහිදී නියෝග කළේ ය. නඩුව කැඳවීමේදී එම සිද්ධියේ මුල් පැමිණිලිකරු වන දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, වර්තමාන පොලිස්පතිවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබී සිටියදිත් පොලීසිය නිසි පරිදි කටයුතු නොකිරීමෙන් ඔහු පොලිස් ආඥා පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවයි. පොලිස් නීතිය යටතේ තමන් වෙත පැවරී ඇති රාජකාරී වගකිම් ඉටු නොකිරීම ද ඉතා බරපතළ වරදක් බව නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා එහිදී පෙන්වා දුන්නේ ය. එයට පිළිතුර ලබා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුනසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, පොලිස්පතිවරයාට අවස්ථා 2 කදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි. ඉදිරියේදී අනාවරණය වන තොරතුරු අනුව වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවන බව ද පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.