වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 01-12-2018 | 4:15 PM
COLOMBO (News 1st) - මඩකලපුව, වව්නතිව් පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, රාසනායගම් සර්වානන්දම් නමැති 48 හැවිරිදි සැකකරු කිලිනොච්චිය පොලීසිය විසින් කිලිනොච්චිය වට්ටකච්චිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව ය. ඔහු කිලිනොච්චිය, හඩ්සන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිත බව ය. විමර්ශන සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මඩකලපුව, වව්නතිව් ප්‍රදේශය බලා ඊයේ පිටත්ව ගියේ ය. මිය ගිය එම පොලිස් නිලධාරීන් දෙදෙනා 35 හැවිරිදි සහ 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. ඔවුන් ගාල්ල උඩුගම සහ කල්මුණේ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.