කථානායකගෙන් දැනුම්දීමක්...!

පාර්ලිමේන්තුව කැඳවන දිනයේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ බහුතර මතය විමසිය යුතුයි - කථානායක

by Staff writer 07-11-2018 | 7:09 PM

COLOMBO (News 1st) - ලබන 14 වැනි දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි.

කථානායක මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේ, ලබන 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා අද පස්වරුවේ පැවති පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමිනි. එදින න්‍යාය පත්‍රය පිළිබඳව රජයේ ස්ථාවරය වී ඇත්තේ, පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිතුමන්ගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දව‍සේ වැඩකටයුතු අවසන්කර එදිනට සභාව කල්තැබිය යුතු බවටයි. අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරූ අතර එම පාර්ශවය විසින් පෙන්වාදෙන ලද්දේ එදිනට නියමිත වැඩකටයුතුවලට අමතරව ස්ථාවර රජයක් පිළිබඳව බහුතර‍යේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවයි. දෙපාර්ශවයටම සවන්දුන් කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් මෙහිදී පවසා ඇත්තේ, මන්ත්‍රීවරුන් 116 දෙනෙකු විසින් ලිඛිතව මින් පෙරද තමා වෙත ලබා දී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් එදිනම සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැලසිය යුතු බවයි.