රන්දෙණිගල සහ ඉහළ කොත්මලේ ජලාශ්‍ර වාන් මට්ටමට

අධික වර්ෂාවත් සමග රන්දෙණිගල සහ ඉහළ කොත්මලේ ජලාශ්‍ර වාන් මට්ටමට

by Staff writer 26-10-2018 | 6:48 AM
COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග වික්ටෝරියා, තබ්බෝව ඇතුළු ජලාශ්‍ර කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කළේ, මධ්‍ය කඳුකරයට ඇද හැළෙන වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශ්‍රයේ ස්වයංක්‍රීය වාන් දොරටු 2ක් පෙරේදා රාත්‍රියේ විවෘත වූ බව ය. ඉන් මහවැලි ගඟට තත්පරයට ඝන මීටර් 150ක් මුදා හැරේ. මේ අතර රන්දෙණිගල සහ ඉහළ කොත්මලේ ජලාශ්‍ර මේ වන විට වාන් මට්ටමට ළඟා වී ඇතැයි මහවැලි අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, ඉදිරි පැය කිහිපය තුළ එම ජලාශ්‍රවල වාන් දොරටු විවෘත විය හැකි බව ය. මේ අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 - 150 ත් අතර ඉතා තද වැසි අදත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ දැනට පවතින වර්ෂාධික කාලගුණ තත්ත්වය ඉදිරි දිනවලදීත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.