නාලක ද සිල්වාගේ වැඩ තහනම් කරන්න - පොලිස් කොමිසම

නාලක ද සිල්වාගේ වැඩ තහනම් කරන්නැයි, පොලිස් කොමිසමෙන් උපදෙස්

by Staff writer 17-10-2018 | 6:23 PM
COLOMBO (News 1st) : පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ප්‍රකාශ කළේ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ නිර්දේශය අනුමත කරමින් පොලිස්පතිවරයාට එම උපදෙස් ලබාදුන් බවයි. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීම සඳහා නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා තීරණය කළේ ය. ඒ සඳහා වන නිර්දේශය අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගේ අත්සනින් ජාතික පොලිස් කොමිසම වෙත යවනු ලැබුවේ, ඉන් අනතුරුව ය. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන විමර්ශනවල තොරතුරු මත පදනම්ව ඔහුගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යංශය තීරණය කර තිබිණ.