අභිරහස් තෙල් සූත්‍රයට එරෙහිව බිබිලෙන් මතුවූ විරෝධය

අභිරහස් තෙල් සූත්‍රයට එරෙහිව බිබිලෙන් මතු වූ විරෝධය...

by Staff writer 13-10-2018 | 10:11 PM
COLOMBO (News 1st) - අගමැති හා මුදල් ඇමතිත් නොදන්නා අබිරහස් ඉන්ධන මිල සූත්‍රය... වගකිව යුතු අය මිල සූත්‍රය නොදන්නවා වූණාට ඒ මිල සූත්‍රය අනුව පසුගිය 10 වන දා තුන්වන වරටත් ඉන්ධන මිල ඉහළ දැමිණි. ඊට එරෙහිව මේ වන විට විවිධ විරෝධතා එල්ල වෙමින් පවතියි. මාස 03ක් පුරා රටට හෙළි නොකළ මිල සූත්‍රය අනුව පසුගිය 10 වන දා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් ද, ඔක්ටේන් 95 ‍පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8 කින් ද ඉහළ දැමිණි. ඊට සමගාමීව ලංකා අයි.ඕ.සී. සමාගම ද පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් 10 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ. ඔවුන්ගේ මිල සංශෝධනය අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 172කි. එය ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට වඩා රුපියල් 03ක වැඩි වීමකි. එමෙන් ම ලංකා ඛණිජ තෙල් සංස්ථාව මෙවර මිල සංශෝධනයට යටත් නොකර රුපියල් 123 මිලටම පවත්වාගෙන යන ඔටෝ ඩීසල් ලීටරයක් ලංකා අයි.ඕ.සී. සමාගමේ අලෙවි කරන්නේ රුපියල් 129කට ය. මේ අතර මිල සංශෝධනයට විරෝධය පළ කරමින් බිබිල නගරයේ ත්‍රිරෝද රථ, වෑන් රථ, ලොරි රථ ඇතුළු ප්‍රවාහන රථ සංගම් අද සිය සේවාවන්ගෙන් ඉවත්ව නගරය පුරා විරෝධතා රථ පෙළපාලියක නිරත විය. පසුව නගර මධ්‍යයේදී විරෝධතාවක් ද පැවැත්විණි.