අතරගමග නැවතුණු අභ්‍යවකාශ ගමන..

සොයූස් රොකට්ටුවේ ගඟනගාමීන් නිරුපද්‍රිතව පෘථිවියට...

by Sagarika Chathumali 11-10-2018 | 6:45 PM
(News 1st) : කාර්මික දෝෂයකට ලක් වූ ගඟනගාමීන් දෙදෙනෙකු රැගත් කැප්සූලය සහිත රුසියානු සොයූස් රොකට්ටුව ආරක්ෂිත ලෙස යළි  පෘථිවියට පතිත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කරමින් තිබූ සොයූස් රොකට්ටුව එහි බූස්ටරයේ හටගත් කාර්මික දෝෂයක් ‍හේතුවෙන් අකර්මන්‍ය වී ඇති බවයි. රුසියානු ජාතික ගඟනගාමී ඇලෙක්ස් ඔව්චිනින් සහ අමෙරිකානු ජාතික ගඟනගාමී නික් හේග් රැගත් මෙම රොකට්ටුව පතිතව ඇත්තේ, කසකස්ථානයටයි. මුදා ගැනීමේ කණ්ඩායම් සහ සෝදිසි කණ්ඩායම් මේ වනවිට රොකට්ටුව පතිත වූ ස්ථානය වෙත පිටත්ව ගොස් ඇති අතර නාසා ආයතනය පවසන්නේ, ගඟනගාමින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි. ගඟනගාමීන් දෙදෙනා මාස 6ක පමණ කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් විද්‍යාත්මක පර්යේෂණ රැසක් සිදු කිරීමට සැලසුම් කර තිබිණ.