වේග පන්දු ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට දඩ

වේග පන්දු ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට දඩ නියම කෙරේ

by Staff writer 10-09-2018 | 1:43 PM

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබේ.

ඒ, ඉන්දියාව සමග මේ දිනවල පැවැත්වෙන 5 වන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති කඩ කිරීම හේතුවෙනි. තරග 5 කින් සමන්විත ඉන්දියා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පසුවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වන දිනටත් පැවැත් වේ. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති කඩ කර ඇත්තේ තරගයේ දෙවන දිනයේදී ය. විනිසුරු තීරණයකට විරෝධය පළ කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනාවයි. ඒ අනුව ඔහුට දඩ නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. කෙසේ වෙතත් ඇන්ඩර්සන් මෙම වරද පිළිගැනීම හේතුවෙන් තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් පැනවීමට තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, ඊට අමතරව ජේම්ස් ඇන්ඩර්සන්ට එක් දඬුවම් ලකුණක් පැනවීමට ද තරග තීරකවරයා කටයුතු කර ඇති බවයි.