හිටපු ජනපතිගෙන් ගත් ප්‍රකාශය අධිකරණය හමුවට

කීත් නොයාර් පැහැර ගැනීම: හිටපු ජනපතිගෙන් ගත් ප්‍රකාශය අද අධිකරණය හමුවට

by Staff writer 20-08-2018 | 4:06 PM

COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලබාගත් ප්‍රකාශය අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණි.

ඒ, රජයේ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් ය. අදාළ ප්‍රකාශයෙන් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, කීත් නොයාර් මහතා පැහැරගත් දින තමන් වෙත ලැබුණු දුරකතන ඇමතුම් පිළිබඳ මතකයක් නොමැති බවයි. මෙම සිද්ධිය පිළිබඳ ආරංචි වූ විට, තමා ජනාධිපති ලේකම්වරයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඇතැම්විට පවසන්නට ඇති බව හිටපු ජනධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවසා තිබේ. රජයේ නීතිඥවරිය අධිකරණයට කියා සිටියේ, හිටපු ජනධිපතිවරයාට ලද ඇමතුම් ඔහු ප්‍රතික්ෂේප කර නොමැති බවයි. සිද්ධියේ 08 වැනි සැකකාර විශ්‍රාමික හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගෙන් අධිකරණයේ අවසරය පරිදි තෙවන වරටත් ප්‍රකාශයක් ලබාගත් බව ද රජයේ අධිනීතිඥවරියා කියා සිටියා ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඕස්ට්‍රේලියාවට ගොස්, අගතියට පත්, මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගෙන් ලබා ගත් ප්‍රකාශයේ ලහුඬු විස්තරයක් ද රජයේ නීතිඥවරිය විසින් විවෘත අධිකරණය හමුවේ අනාවරණය කරන ලදි. කීත් නොයාර් මහතා එහිදී පවසා ඇත්තේ, 2008 වසරේ තමා නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කතෘවරයාව සිටියදී, සෙන්පති යන අනුවර්ථ නාමයකින් රජයේ හා හමුදාවල පවතින දුර්වලතා පිළිබඳ ලිපි පෙළක් පළ කළ බවය. එවකට ආරක්ෂක ඇමති, ආරක්ෂක ලේකම්, හමුදාව හා පොලීසියේ පැවති දුර්වලතා පිළිබඳ පෙන්වා දුන් බව ද කීත් නොයාර් මහතාගේ ප්‍රකාශයේ සඳහන් වේ. මෙම ලිපි පළවීමෙන් පසු දිනක තමා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යමින් සිටියදී හමුදා ජීප් රථ තමා ලහුබඳින බවට තමාට දැනී ගිය බවත්, තමා විශ්වවිද්‍යාලය පරිශ්‍රයට පිවිසීමත් සමග එම තත්ත්වය මග හැරී ගිය බවත් කීත් නොයාර් මහතා පවසා ඇත. ඔහු පවසා ඇත්තේ, පසුව එදින රාත්‍රියේ සුදු වැන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් කඩා වැදී තමාට පහරදී දෑස් බැඳ දමා පැහැර ගත් බවයි. එලෙස රැගෙන යන අතරතුර ද තමාට පහර දෙමින් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සම්බන්ධතා ඇද්ද යන්න පිළිබඳව ද ප්‍රශ්න කළ බව කීත් නොයාර් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වේ. අනතුරුව යම් ස්ථානයකට රැගෙනයාමෙන් අනතුරුව තම ඇඳුම් ගලවා, තමාට එල්ලා පහරදුන් බව කීත් නොයාර් මහතා පැවසීය. තමාට පහරදෙන අතරතුර, එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුට දුරකතන ඇමතුමක් ලැබුණු බවත්, හරි සර්, හරි සර් යනුවෙන් ඊට පිළිතුරුදීමෙන් අනතුරුව තමාට පහරදීම නතර වූ බවත් කීත් නොයාර් මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය. එහිදී කීත් නොයාර් මහතාට නැගිටින ලෙසත් මුහුණ සෝදා ඇඳුම් යළි ඇඳගන්නා ලෙස දැනුම් දී තිබේ. අනතුරුව තමාව දෙහිවල ප්‍රදේශයට ගෙනවිත් දැමූ බව කීත් නොයාර් මහතා ඕස්ට්‍රේලියාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය. ඔහු පැවසූවේ, අනතුරුව තමා රෝහල්ගත වූ බවත් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ජීවිතාරක්ෂාව පතා ඕස්ට්‍රේලියාව බලා ගිය බවයි. මේ අතර කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්, දොම්පේ බදුවත්තේ රඳවා සිටි නිවාසයේ තොරතුරු වර්තමාන ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතත්, ඊට පිළිතුරු ලැබී නොමැති බව රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියා ය. ඇය සඳහන් කළේ, තවදුරටත් ආරක්ෂක ලේකම්වරයාගෙන් ඊට පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඊට සවන්දුන් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය, ආරක්ෂක ලේකම්වරයාගෙන් තොරුතරු ලබා ගැනීමට සිහි කැඳවීමක් කරන ලෙසට රජයේ අධිනීතිඥවරියට දැනුම්දී ඇත. 08 වැනි, සැකකරු වෙනුවෙන් කර තිබු ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 27 වන දිනට කල්තැබූ අධිකරණය එදින තෙක් සැකකාර මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/495729960889986/